කිරළ නද

රැයේ නින්දට අත වනන විට
කුඩා සන්දියෙදී
මතකයි ඇසුණා අහසේ යන කිරළකුගේ හඬ
හඬනවාද, සතුටින්ද
කිසිවක් නොවැටහෙයි
තනිකම ඒ හඬෙහි තිබුණැයි
යහමින් මතකයි
ඒ හඬ අසන්නට පුරුද්දක් ඇතිවිය
නින්දට පෙර එකල සැමදා
ඇසෙණතුරු ඇඟිලි ගනිමින් සිටියෙමි
ඉන්පසු නින්දට පිවිසියෙමි
ආදරය කලෙමි බොහෝ ඒ හඬට
යව්වනය අත වනනතුරු
මැකී යනතුරු
මටත් නොදැනිම ඒ හඬ

 

කාලයද රිදවයි
තනිකමද විමසයි
අද මා කොතැනකද
කා සමගද
කවර ලෙසින් වෙද
කුමක් කියන්නට සිතන්නත් පෙර අදත් ?
ඇසෙයි ඒ පුංචිකල ‘‘මහා ආදරය’’ කල
ඒ කිරළ නද
එදා හුන් තැන නොවේ
සිදාදියෙ කුටියකදි
නිදන්නට ඇඟිලි ගණිනා විට
මහා පෙරැළියක් කරමින්
මහද හඬවා
මහද සනසා
වට කිහිපයක් කැරකෙයි
තනිව අහසේ හඬ හඬා

 

යළිත් ජීවය ලබමි
යළිත් නිදහස ලබමි
යළිත් තනිකමෙහි මහඵල
විඳිමි විඳගමි විඳගමි
කිරළ නද මෙන්
තනිව හඬගා
මගේ බමදියෙහි
නිමක් නැති තැනිතලාවෙහි පැන
මහ හඬින් මුරගා
තනිකමෙහි මහා සුව
කිරල නදමෙන්

 

“හුදකලාව” පද්‍ය සංග‍්‍රහය

Author: kadawara

Leave a Reply

Your email address will not be published. Required fields are marked *